Friday, January 24, 2020

ගඟ මොකද අද.......



ගඟ මොකද අද සාංකාවද
දෙපෝයකටම සඳ නොදුටු සඳ

කොයිද විසිරුණු හිනා ගං රැළි
කෝල රැන්දූ සීත සිලි සිලි

හිරුගෙ කිරණින් දිස්නෙ විහිදුව
ගං පතුල හැංගුනේ කොයිබද

නැද්ද පාළොස්වකක් තව ළඟ
ඔරෝගෙන කී දොහක් යන්නද

~පුරූ~

හඳ මඩලට ආදරයෙන්....



ඔබ දන්නෙ නැතුව ඇති
නිතර දෙවේලේ මිදුලට එන්නේ
තරු ගනින්නම නොවන බව...

ඔබ දන්නේ නැතුව ඇති
ඔබ අහසෙ නැති දවසට
මගෙ හිත් අහසම හිස් බව...

ඔබ දන්නේ නැතුව ඇති
ඔබෙ දිස්නෙ එක වරක් වැටුනම
මගෙ මූන දවස් ගානකට එළිය වැටෙන බව...

ඔබ දන්නෙ නැතුව ඇති
අමාවකට කලින් දා මං හිටියෙ
ඇස් අගිස්සෙ කඳුලු හිර කරගෙන බව...

ඔබ දන්නේ නැතුව ඇති
මුලු ලෝකෙටම තරුවක් උන ඔබ
මටම විතරක් සඳ මඩල බව...

-පුරූ-

නොකියා ගිය වසන්තයට.....



නුඹ තාම ඉන්නා වග සිතා
බලා ගන්නට සිත පුරා
ආ නමුත් හනිමට මෙමා
නුඹ ගොහින් මෙබිමෙන් මට හොරා


~පුරූ~


ඔව්...
උඹ හිතුවා හරි..
මං ආවේ නුඹව බලන්න..
මං ඉද්දි නුඹේ තිවුණු සිරියාව තාමත් එහෙමමද බලන්න
මෙහෙදිත් මට මුණගැහුණාට
මට ඕනෙ උනෙ ඔහාට ඇවිත්ම බලන්න
උඹ තාමත් දිස්නෙ දෙනවා එදා වගේම
ඒත් හරි මහන්සි පාටයි....
මං දන්නවා
ලේසි නෑ ඔහොම ඉන්න
කමක් නෑ
ඔහොම ඉවසපන්කො තව ටිකක්
උඹටත් පායයි දවසක ඉර...

~පුරූ~

කොයිද මට තනියක්



කුසගින්න එද්දී
නුඹ සමඟ පොර බදද්දී
නුඹ ඒ ගිනි නිවද්දී
කොයිද මට අඩුවක් නුඹ ඉඳිද්දී

මූදු ගොස් එද්දී
නගුට වනමින් බලා ඉද්දී
තුටින් මා කැටුව එද්දී
කොයිද මට තනියක් නුඹ ඉඳිද්දී

~පුරූ~


සේයාරුව: චතුස්ක පසිඳු පෙරේරා

කළු ගං කොමළියට සෙනෙහසින්...



කඳු මුදුනෙ වැසි වැටී ගලනවිට නොනැවතී
නුඹ කෙරෙන් ඇස් ගන්න බැරි තරම් හැඩ ඇතී
ගං පහළ සුවහසක් මඟ බලාගෙන ඇතී
පොඩියකට නවතිමුද ඔහේ ගැලුවා ඇතී

හැමදාම වැසි නැතේ
වෙල් යාය හාමතේ
නැතුව කහටක් හිතේ
බෙදමු දිය උන් වෙතේ

වක් වෙවී ගලන කළ ගංඟාව හරි අගෙයි
දාහදියෙන් නැගූ ගේ දොර පිදූ දන නෙතෙයි
පීදෙනා ගොයම දැක උදම් වන ගොවි නෙතෙයි
උනන තුටු කඳුලැල්ල අගෙයි ඊටත් අගෙයි

~පුරූ~

පසෙකට වෙමි



පසෙකට වෙමි
ඉමක් කොනක් වගක් නැතිව
හැල්මේ දුවනුන්ගෙන් මෑත්ව

දර ඉපලක් වෙමි
හරිතෙන් හැඩව
ලොවසඟ කරන තුරු ගොන්නෙන් නික්ම
~ පුරූ ~

කපා දැමූ රොබරෝසියා ගසට....,



තුටින් උන්නා නොවෙද
නුඹ නුඹ ගැනම නොහිතා
රෑ නිදි වරා පීද්දූ මල්
සරසද්දි රඟ මඬල
ඇතීරී පඩි පේලි පුරා
නුඹ නෑවුනා නොවෙද
ගුණ වරුණාවලින් උන්ගෙ......

වියපත්ව වැහැරුණු කල
දිය නොහී තවත් මලකට ජීවය
'උඹ කවුද, ඇයි නුඹ ඔතන
වනසනවා නුඹ රඟමඬල'
හීසර වදන් ද?
පොරෝ පහර ද?
මරා දැමුවේ නුඹව......

~පුරූ~


“Hydro note එකට.....
හිත හදාගෙන ඔයාව බලන්නෙ කොහොමද
මට අනිත් අයත් මතක් වෙනවා
එයාලව බලන්න ගියාම
මට ඔයාව මතක් වෙනවා
දන්නවද
ඔයා විතරක් නෙමෙයි
මට තව 7ක් ඉන්නවා
2 ක් නම් general
මට වැඩිය වද දෙන්නෑ
ඒ විතරක්ද
මට ඉස්සර අයත් මතක් වෙනවා
මට රිද්දපු අය
ඔයාලත් ඒ වගේ වෙයිද
හිත කලබල වෙලා
ඉතින් කොහොමද හිත හදාගෙන
ඔයාව බලන්නෙ මම...”

-රිශානි කළුපහන-

“තව ටිකයිනෙ මුදුනට
ඇයි බලන්නෙ ආපහු
හැරි හැරී......
මං පුංචි දිය පාරක්
පිපාසෙට බොන්න ගන්න
කොහොම වට්ටන්නද
ඔයාව
ඔයාගෙ මහන්සියෙන්
නැගපු කන්දෙන්....
~මීට hydro note එක~” 

-පුරූ-

සහෝදරත්වයේ නිවහන


රුවල් නැවක් කතා කරයි...............


පෙම් බඳිමි
මා සිප හමන රළු සුළඟට
පැතුවෙමි
තරවටු කළෙමි
නතු කර බැඳ තබාලන්න

ඉරී ගිය රුවල
අබලන් කුඹ ගහ
ඇද බැඳ තැබුවා මා
තව තවත් ඒ චණ්ඩ මාරුතයටම

නැවතුනේ සුළඟ නොවේ
ඒ සුළඟකි මේ නැවකි
සුළඟට තරම්නොවෙලු

අත්හරිමි වෑයම
ඔහේ පාවෙද්දෙන්
මාරුතේ යන දිහාවකටම

........පුරූ.......

දයාබර කළුගල වෙත ලියමි•••••~



වේදනායි නේද රළ ඇවිත් හැප්පෙද්දි
නොදැනද මන්දා ඔබ නොහිටියානම් නොවන බව ඔය ජල කඳ ඔතන
කීවාද උඹ කලුයි කැතයි රලුයි කියා ඔවුන්
ඉවසපන් තව ටිකක්
හැඩ වේවි නුඹ ඔය රළ සැරටම
නෑ එදාට ඔය කුරිරු වදන් කාගෙන්වත්

~පුරූ~

මල් කාරිගේ සිතුවිලි.......


වතුරද, පොහොරද, හිරු දකින්නද ඕනැ නුඹට,
හැඩ කරන්නම් ඉවත ලා පරඬැල්,
නුඹෙ කඳුළු මට දියන් හිනැහියන් ලස්සනට,
නුඹෙ උරුමෙ හෙට ඒවි නෙලන් යන්නට හනික,
එළිය කරපන් ඇගෙ නිවස තුටින් තබමින් ඈව.....

~පුරූ~

(සේයාරුව  idealmagazine.co.uk වෙබ් අඩවියෙන්)

මසඳ ඔබගේ........




වත කමල නොදුටුවෙන් කලකින්
   වාලුකාවේ මඟ මුලා වෙමි ඔබ නොදන්නේ
මිහිරි තෙපුලක් සවන නොවැකී
   ලොවට බිහිරිය වී සිටින්නෙමි ඔබ නොදන්නේ
කුළුණු වෑහෙන හස මඬල නැති
   සොවින් අඳුරට වී අඬන්නෙමි ඔබ නොදන්නේ
අහඹු අහඹුත් මඟ හරීයැයි බියෙන්
   ලතැවී ගොළුව ඉන්නෙමි ඔබ නොදන්නේ

                       ~පුරූ~