Friday, January 7, 2022

ප්‍රබුද්ධ - මහගම සේකර

 

වැඩ ඇරී එන කලට ඔබ සමඟ
සෙනඟින් පිරී ගිය දුම්‍ රියක
අවුලා ගෙන හිස් සිගරැට් පැකට්ටුවක්
එ මත පැන්සල් කෙටියකින්
කුරුටු ගාන්නට මට ඇත කවියක්

එසේ වුව සොහොයුරෙනි!
ඔබ ගැන ම මා ලියන ඒ කවිය
ඔබගෙන් බොහෝ දෙනකුට
අද දින නො වැටහෙන බව දනිමි.

ලෝකය මීට වඩා යහපත් වන
අනාගතේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
කියවන බව ද දනිමි.

.................

"ලැබුව ද කොතෙක් දන
නැඟුණ ද ඉහළ තලයට
දිළිඳු විය ඔහු සිත
ආත්මය ඇද වැටී පහළට"

"රත් දෙතොල් අතරෙහි
පිරී තිබුණේ අමන රාගය
අඳුන් ගෑ නෙත් කොන්වල
රැඳී තිබුණේ ඊර්ෂ්‍යාවය;
සතුටු සාමීචි පිළිසඳර තුළ
කැපී පෙනුණේ වෛරයක් ම ය."

" ප්‍රබුද්ධ
හිස්‍ය මේ ජීවිතය;
බොල්‍ය මේ ජීවිතය;
බලව !
රන් දුහුල් යට

සුවඳ විලවුන් අතර
අතට අත දෙන ඇඟිලි කරු අතර
නිර්වස්ත්‍ර වී පෙනෙන කුහකකම."

"අමු සොහොනක් නේද මේක?
නාටකයක් නේ ද මේක?"

"ඔබ හැර යා නො හැකි හෙයින්
ඔබ නිසා ම ඔබ සමඟ ම
මා මෙහි විසිය යුතු හෙයින්,"

"මම නමැති හුය දිගේ ගිය හොතින්
එහි මූල තෙක් ම මනසින්
එවිට තොපට පැහැදිලි වෙයි
ආවා වගේ ම සිතට පළමුවෙන් ම 'මම'
අවසානය තෙක් ම රැඳී ඉන්නෙත් එය බව"

"ඇයි මා ඇයගෙන් පැතුවේ
මන පිනවන ප්‍රතික්‍රියාවක්?
දුන්නේ රුපියලක් ම මම්
"මම" සතුටු කරන්න ද?
ඇය්ද් සතුටු කරන්න ද?"

"සිර වී සිටියෝ ට ඔවුහු
මුළු දහවල් දවස තුළ
තමන් ම තනා ගත් ඒ සිට කඳවුර තුළ"

"වෙසක් පහන්වලින් ගලන
සවණක් ගන රැසින් වැසී
පොළොව බෙදූ තාප්ප හා කටු කම්බි ද
මොහොතින් අතුරුදහන් වී ගොසින් ය.

ලෝකට තනි යායකි"

"සැම්සන් !
වරදින් මා මුදවන්නට බී ගෙන ආ
දෙවියෙක් නුඹ !"

"සැණකෙළි බිමෙහි සිටිනා
හැමගෙ ම මුවින් නැඟෙනා
දුක්බර ඒ අඳෝනා
එක ම එක පොදු ලතෝනියක් ලෙස
නින්නාද නැඟුණි ඔහු සවන් තුළ.
එහෙත් ඒ ලතෝනිය හා මුසු ව
ඇසෙනුයේ එක ම එක වැකියක් ය:
'ඉන්න ටිකේ ඉම්මු අපිත් ජොලිය දමාලා.' "

"වික්ටර් !
බතක් - වතක් - ගෙයක් - දොරක්
ලද පමණින්
රස්සාවක් ලද පමණින්
විමුක්තියක් ලැබිය හැකි ද?
අසහනයෙන් මිදිය හැකි ද?
සංසාරේ නිරන්තර ව තැව රී ඇති
දුක එතනින් නිමා වේ ද?"

"අසාධාරණයට විරුද්ධ ව
යුද වැදීමට
පෙළඹවිය හැකි නම් මිනිස් සිත.
අසාධාරණ නො කර හිඳිනය
පෙළඹ විය නො හැකි ද මිනිස් සිත ?

යුද්ධය පළමුවෙන්
බිහි වනුයේ සිතෙහි නම්
සාමය ද එතැනින් ම
බිහි කරනු බැරි වේ ද ?"


No comments:

Post a Comment