"ඉස්සර කාලෙ පෞරුෂයක් නොතිබිච්ච සමහර මෝඩ රජවරු කළෙත් ඔයදේම තමයි. තමන්ගෙ ශරීරෙට වඩා දෙතුන් ගුණයක් විශාලව හදාගත්ත සිංහාසනේ. ඒකෙ ඉඳගත්තම රාජ කශේරුකාවයි සිංහාසනේ ඇන්දයි අතර තිබුණ මහ විශාල පුළුන් කොට්ට වලට හේත්තුවෙලා ඉන්න රජ්ජුරුවන්ගෙ බඩ එනව ඉස්සරහට. පපුව පිම්බිලා පේන්න ගන්නව. අනේ ඉතින් ඈත ඉඳන් බලා ඉන්න රට වැසියොත් මේ නං මහා වීර උත්තමයෙක් තමයි බලහල්ලකො රාජ තේජස් සරීරෙ කියල ළඟ ඉන්න එකාට වැලමිටෙනුත් ඇනල පෙන්නනව."
"පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනින සමහර එවුන්ට ඒකට සාධාරණ හේතු තියෙනවා කියලා අපි කවුරුත් මතක තියාගන්න ඕන. මොකද සමහර එවුන්ගෙ පිටිපස්ස දැක්කම තමයි උන් කරගෙන යන බොරුව පේන්න ගන්නෙ."
"ජීවිතේ කියන්නෙ දිය ඇල්ලක්. අපි හැමෝම ඒ දිය ඇල්ලෙන් ගත්ත වතුර ටිකක් බෝතලේකට දාගෙන ඒකට ලේබල් එකක් ගහලා ඒ ලේබල් එක දිහා බලා ඉන්නවා. එතකොට අපිට අර බෝතලේ තියෙන වතුර ටිකයි දිය ඇල්ලයි දෙකම අමතක වෙලා යනව. අපි දිගටම ලේබල් එක දිහා බලා ඉන්නව."
"ඔය කියන්නෙ අපි හැමෝටම වෙලා තියෙන දේ. අපිට අපේ ජීවිත අමතක වෙලා. අපි ජීවිතේ කියල හිතාගෙන වෙන මොකද්ද ලබ්බක් දිහා බලාගෙන ඉන්නව. එතකොට අපිට ඇත්ත ජීවිතේ මග ඇරෙනව."
"උර මත කර මත ඉහ මත ගෙනියන බර වැඩිවෙන තරමට ගමන වෙහෙසයි."
"තොටියා සමඟ හාදකං ඔරුව ගොඩ එනතුරු පමණි."
"මේ වෙහෙර තනන්ට නංහාමිය කාසි කොයින්ද?"
"උන්දෑ මාළු විකුණල කාසි හොයාගත්ත හාමුදුරුවනේ."
"මාළු විකුණල?"
"ඔව්...වැව් මාළු විකුණල"
"වැස්සට කියා ගොඩවෙන පිළ ඇතැමුන්ගේ ඉරණම තීරණය කරන්නේ පුදුම සහගත ලෙසය"
"ඕක නෙමෙයි කෙල්ලෙ උඹ කරන්න ඕනි මේ වැවේ සොරොව්ව පාදල ගන්න එක. එතකොට පිටවෙලා යන්ට ඕනි වතුර ටික එළියට යයි. රැඳෙන්නට හිතාන ඉන්න වතුර ටික වැවේම ඉතිරි වෙයි. එතකොට වැව විනාස වෙන එකක් නැතිවෙයි."
"උඹ වින්නඹුකමට ගියා නං දරු පැටියෙක් එළියට ආවත් ගන්ට ඕනි කොටි පැටියෙක් එළියට ආවත් ගන්ට ඕනි මයෙ පුතේ. ආපහු හැරෙන්ට දිහාවක් අපට නෑ. හොඳ එකා වගේ ඔය සාත්තරේ විගැහින් ඉගෙන ගනින්"
"ඕක තමයි ජීවිතේ හැටි නාරද. ගොඩ ඉන්න එකා හිතනව වැව මැද සැපයි කියල. වැව මැද ඉන්න එකා හිතනව වැව් ඉවුර සැපයි කියලා. මේ සැසඳීම අත්හරින තාක් කොතන හිටියත් සැපයක් නෑ කියල හිතේ තියාගන්ට"
"ඇත්ත ලෝකෙ දකින්න නැති මේවගෙ මවාගත්ත දේවල් ඇයි මිනිස්සු නිර්මාණය කරන්නෙ?"
"මිනිස්සු කැමතියි මනඃකල්පිතව හරි සර්ව සම්පූර්ණ වෙන්න.මනෝ ලෝකෙක හරි බලවත් වෙන්න. සිහින ලෝකෙකදි හරි තමන්ට වුවමනා දේ ඉෂ්ට කරගන්න. මනුස්සයින්ට දැනෙන ඒවගේ අසාමාන්‍ය හැඟීම් වුණත් නිදහස්ව කියන්න පුළුවන් එකම දේ කලාව විතරයි"
"කෙතරම් හයිරංකාරයෙකුට වුවද සමහර අවස්ථාවල ගෙයි පිළ සිහි කර දීම පිණිස කුඩා කෝටුවක් වුව ප්‍රමාණවත් වේ."
"උඹ කසාද නොබැඳ සතුටෙන්ද ඉන්නෙ?"
"සමස්ථයක් විදියට දැනට මට දුකක් නෑ. ඒ මම නොබැඳ ඉන්න නිසාද කියන්න මම දන්නෙ නෑ. බැඳපු මිනිස්සු මට වඩා සතුටෙන්ද කියලත් මම හිතලා නෑ. මම මගෙ ජීවිතේ කාගෙවත් ජීවිත එක්ක සසඳන්න යන්නෙ නෑ. එහෙම කළොත් ජීවත් වෙන එක හරි අමාරු දෙයක් වෙයි කියල මට හිතෙනව."
"When your Past Calls,
Don't Answer.
It has nothing new to say"
No comments:
Post a Comment